Headlines News :
Home » » භික්ෂූන් වහන්සේලාට නීති ලැයිස්තුවක් එයි

භික්ෂූන් වහන්සේලාට නීති ලැයිස්තුවක් එයි

Written By 24gossipnews on January 13, 2016 | 2:45 AM

ගුරුකම් කරන්න බෑ,
වාහන ඩ්‍රයිව් කරන්න බෑ,
රජයේ හෝ ප්‍රයිවට් ජොබ් කරන්න බෑලු
ත්‍රෛනිකායික භික්‍ෂූන් වහන්සේලාගේ හැසිරීම හා විනය කරුණු පිළිබඳ විධිවිධාන පනවමින් ථෙරවාදී භික්‍ෂු කතිකාවක්‌ ලියාපදිංචි කිරීම සඳහා වන පනත් කෙටුම්පතක්‌ පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ හා ජනමාධ්‍ය ඇමැති, ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් ඊයේ (12දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවට පුවත්පත් වාර්තාවල දැක්වෙනවා.
මෙම පනත් කෙටුම්පතට අනුව ගුප්ත විද්‍යා කටයුතු හෝ ඊට සමාන කටයුතුවල නියෑළීම හෝ කරගෙන යැම සහ එම කටයුතුවලට ප්‍රචාරය ලබාදීම ද ත්‍රෛනිකායික භික්‍ෂූන් වහන්සේලාට දඬුවම් ලබා දිය හැකිය.
                                   


එමෙන්ම වෙළෙඳ හෝ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වී කටයුතු කිරීම, රියෑදුරු බලපත්‍රයක්‌ ලබා ගැනීම සහ වාහන පැදවීම භික්‍ෂූන් වහන්සේට කළ නොහැකිය. එමෙන්ම අධ්‍යාපනය, සමාජ සේවා හෝ ආගමික කටයුතු යන ක්‍ෂේත්‍රවල හැර රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ යම් රැකියාවක නියුක්‌ත වීමට ත්‍රෛනිකායික භික්‍ෂූන් වහන්සේලාට හැකියාවක්‌ නොමැත.
ප්‍රසිද්ධ ස්‌ථානවල බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමකට අකැප අයුරින්, භික්‍ෂු විනයට පටහැනි ක්‍රියාවන්හි නියෑළීමද දඬුවම් ලැබිය හැකි වරදකි. එකී වැරදි සඳහා දඬුවමද අදාළ කතිකාවක ඇතුළත් කළ හැකි බව පනත් කෙටුම්පතේ දක්‌වා ඇත.
ඒ අනුව ඉහත වරදට ලැබෙන දඬුවම් මෙසේය.
වැඩ සිටින විහාරස්‌ථානයෙන් එම භීක්‍ෂූන් වහන්සේ තාවකාලිකව හෝ ස්‌ථීරව ඉවත් කිරීම, විහාරාධිපති ධුරයෙන් තාවකාලිකව හෝ ස්‌ථීරව ඉවත් කිරීම, ශිෂ්‍යභාවයෙන් ඉවත් කිරීම, අදාළ නිකායෙන් හෝ පාර්ශවයෙන් ඉවත් කිරීම සහ භික්‍ෂු ලියාපදිංචිය අවලංගු කිරීම අදාළ වරදට දඬුවම්ය.
මෙම පනත් කෙටුම්පතට අනුව එක්‌ එක්‌ ථෙරවාදී භික්‍ෂු නිකායේ හෝ පාර්ශවයේ කාරක සංඝ සභාව විසින් එම නිකායට හෝ පාර්ශවයට අදාළ කතිකාවක්‌ සකස්‌ කර සම්මත කර ගත යුතුය. ඉන් පසු එය එකී නිකායේ හෝ පාර්ශවයේ මහානායක හිමියන් විසින් අත්සන් කළ ප්‍රකාශයක්‌ සමඟ බෞද්ධ කටයුතු කොමසාරිස්‌වරයා වෙත ලියාපදිංචිය සඳහා යොමු කළ යුතුය.
බෞද්ධ කටයුතු කොමසාරිස්‌වරයා විසින් එය විශේෂඥ මණ්‌ඩලයත් වෙත ඉදිරිපත් කරනු ලබයි. මෙම විශේෂඥ මණ්‌ඩලය බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා තුන් නමකගෙන්, බෞද්ධ භික්‍ෂූන් වහන්සේට අදාළ විනය රීති පිළිබඳ දැනුම ඇති නීතිඥවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත විය යුතු බවද පනත් කෙටුම්පතේ දක්‌වා තිබේ.
විශේෂඥ මණ්‌ඩලයේ සහතිකය ලබා දුන් පසු බෞද්ධ කටයුතු කොමසාරිස්‌වරයා විසින් අදාළ කතිකාවත ලියාපදිංචි කළ යුතුය.
ඉන් පසු මෙම කතිකාවතේ විධිවිධාන එකී නිකායට හෝ පාර්ශවයට අයත් සෑම භික්‍ෂූන් වහන්සේ නමකටම අදාළ විය යුතුය. එකී කතිකාවතේ විධිවිධාන එම භික්‍ෂූන් වහන්සේ විසින් දැඩිව පිළිපැදිය යුතු බවද, ඊට අනුකූලව හැසිරිය යුතු බවද පනත් කෙටුම්පතේ සඳහන්ය.
මෙම කතිකාවතේ සඳහන් කලින් සඳහන් කළ විධිවිධාන භික්‍ෂූන් වහන්සේ නමක්‌ විසින් උල්ලංඝනය කළොත් අදාළ නිකායේ හෝ පාර්ශවයේ කාරක සංඝ සභාව විසින් පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතුය. චෝදනා ලත් භික්‍ෂූන් වහන්සේටද කරුණු ඉදිරිපත් කිරීමට අවස්‌ථාව හිමි වේ.
චෝදනාවන්ට වරදකරු වන යම් භික්‍ෂූන් වහන්සේ නමකට කාරක සංඝ සභාව විසින් නියම කරන පෙරකී දඬුවම් පිළිපැදීම එම භික්‍ෂූන්වහන්සේ විසින් ප්‍රතික්‍ෂේප කරන්නේ නම් පනත යටතේද එම භික්‍ෂුව වරදකරු කර මහෙස්‌ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කර රුපියල් පනස්‌ දහසකට නොඅඩු දඩයක්‌, හෝ මාස හයකට නොවැඩි සිර දඬුවමක්‌ හෝ එම දඬුවම් දෙකම හෝ ලබා දිය හැකිය.
යම් කිසි ලෙසකින් වරදකරුවකු වන භික්‍ෂූන් වහන්සේ නමක්‌ වෙනත් නිකායක්‌ හෝ පාර්ශවයක්‌ විසින් භාර ගැනීම හෝ භික්‍ෂුවක්‌ ලෙස ලියාපදිංචි කිරීම නොකළ යුතු බවද පනත් කෙටුම්පතේ දක්‌වා තිබේ.
පනත් කෙටුම්පතේ විධි විධාන ක්‍රියාත්මක කිරීමේදී හෝ එය බලාත්මක කිරීමේදී ත්‍රෛනිකායික මහ නාහිමියන්ගේ තීරණය පරිදි භික්‍ෂූන් වහන්සේලාගේ සිවුරේ වර්ණය නියමිතව දැක්‌වීම සඳහා ද බෞද්ධ විෂය ඇමැතිවරයාට නියෝග සැදිය හැකිය.
මෙම පනත් කෙටුම්පත ශ්‍යාමෝපාලි මහා නිකාය, ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය යන ථෙරවාදී සම්ප්‍රදායට අනුකූල තුන් නිකාය සහ එම නිකායන් යටතේ පිහිටුවන ලද පාර්ශවයන්ට අදාළ වන බවද සඳහන්ය.
මෙම පනත් කෙටුම්පතට අදාළ විවාදය ඉදිරි දිනක පැවැත්වීමට නියමිතය.

Share this post :

Post a Comment

 
Support : Creating Website | MC Template | MC Template
Copyright © 2011. sl24Breakingnews - All Rights Reserved
Template Created by Creating Website Published by MCNETWORK
Proudly powered by MC